නුඹට මා මතකයක් වේවා💖

"දෙන්නෙක්‍ට එකම වගේ ආදරේ කරන්න පුළුවන්ද බං? එක්කෙනෙක්ට දශමෙකින් හරි වැඩි කැමැත්තක් තියෙන්න ඕනෙනෙ"

"ඔව් ඉතින් දශමෙකින් හරි වැඩි පැත්තට තමා තරාදිය වුනත් බර වෙන්නෙ."

"එතකොට මං තරාදියේ කොයි පැත්තද බං?"

"උඹ තමයි තරාදිය එල්ලන කොක්ක.අනේ මගෙන් කුනුහරුප අහගන්නෙපා බිමී.වැඩ කරපන්."

සවනි එහෙම කියලා ෆයිල් ටිකත් තුරුළු කරගත්තෙ යන්න.

"ප්‍රශ්නෙ තමන්ගෙ නොවන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි කියනවනෙ.තුවාලේ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන මිනිහනෙ"

මැෂින් එක දිහා බලාගෙනම මං ඒ ටික කිවුවේ සවනිට ඇහෙන්න.දකුණු ඇහේ දකුණු පැත්තෙ කොනෙන් මට පේනවා සවනි නැවතිලා මං දිහාම බලාගෙන ඉන්නවා.

"රට ගියාම මිනිස්සු වෙනස් වෙනවා.ඒ නිසා ලංකාවට ආවාට පස්සෙම වචනයක් දෙනවා කියලා පොර ටෝක් දීපු එකා මොන මඟුලටද ඌ රට ගිහින් මාසයක් යන්නත් කලින් හා කිවුවේ?"

සවනි අන්තිම ටික කිවුවේ අතේ තිබුණු ෆයිල්ස් දෙකෙන් මගේ ඔලුවට දීලා අතාරින ගමන්.

"ගෙදරින් ප්‍රපෝසල් හොයනවා ඉක්මනට වචනයක් දෙන්න කිවුවම මං බල බල ඉන්නෙ කොහොමද බං?"

ඒත් එක්කම ෆෝන් ස්ක්‍රීන් එකේ වැටුනේ පවිත්‍රාගෙ නම.

"ඒ අනිත් එක"

රින්ග් වෙන මගේ ෆෝන් එක දිහා බලලා සවනි රවන්න ගත්තා 

"ඒකි මොනවා කරන්නද බං?"

එහෙම කියාගෙනම මං කෝල් එක ආන්සර් කරා.

"හෙලෝ පවිත්‍රා"

"ඒයි බිමී.සිතුම් ලංකාවට ඇවිල්ලා නේද? උඹ මට කිවුවෙවත් නෑනෙ."

මගේ පපුව ගැහෙන වේගේ එක සැරේටම වැඩිවෙන්න ගත්තා.මොන හේතුවක් නිසාද මන්දා කියාගන්න බැරි දුකත් එක්ක මිශ්‍ර වුනු අමුතු සතුටක් හිත ඇතුළෙ පොපියන්න ගත්තා.

"කවද්ද?"

මං ඇහුවේ නොඉවසිල්ලෙන්.

"මොකක්? උඹ දන්නෙ නැත්ද? දැන් සතියක් විතර වෙනවලු.උඹට කිවුවේ නැත්ද?"

"නෑ බං.දැන් එහෙම කතාකරන්නෙ නෑ.මං උඹට කිවුවෙ නෑ උඹ අප්සට් යයි කියලා."

"ඇයි ඌට වෙන කෙල්ලෙක් සෙට් වෙලාද?"

"වෙන කෙල්ලෙක් නෙවෙයි බං හිටපු කෙල්ලම තමයි."

"මොකක්ද බං වුනේ?"

"දැන් කතාකරන්න බෑ.මං ඔෆිස් එකේ.පස්සෙ කියන්නම්කො මං"

කතාව අතරතුර සවනිගෙ බැල්ම දරාගන්න බැරි නිසාම මං ඉක්මනට කෝල් එක කට් කරා.

"බිමී මං උඹට ආයෙ කියන්නෙ නෑ. ඕකා ගැන කතාකරන්නෙපා.එච්චරයි"

සවනි කැබින් එකට යනකන්ම මං එයා දිහා බලාගෙන හිටියා.සවනි පව්.එයා කැමති නෑ මං දුකෙන් ඉන්නවට.

ඒත් මට මගේ යටි හිත කියන දේට පිටුපාන්න හිතෙන්නෙම නෑ.ඇස් දෙක කියන්නෙම එකම එක පාරක් සිතුම්ව බලන්න යන්න කියලා.ඒත් කොහොමද?

හවස ඕෆ් වෙලා ගිය ගමන් මං පවිත්‍රාට කෝල් කලා.

"මං සිතුම්ට කතාකරා බං.කියන්න ඕනෙ ඔක්කොම කිවුවා.ආයෙ මට උගෙ මූණවත් බලන්න ඕනෙ නෑ"

හෙලෝ කියන්නත් කලින් පවිත්‍රා කියාගෙන කියාගෙන ගියා.

"ඇයි බං එහෙම කරේ? උඹ ඔහොම කරයි කියලා දන්නවනම් මං උඹට කියන්නෙත් නෑ."

"අනේ බං සොරි.ඌ පට්ටම හොඳයි.යාලුවෙක් විදිහට.නැත්තම් මං උඹට ඌ එක්ක සෙට් වෙන්න දෙන්නෙ නෑ කීයටවත්"

"උඹ ඕක හිතන්නෙපා ඉතින්.සිතුම් ඒ කෙල්ල එක්ක තරහා වෙලා හිටපු කාලෙක මට ළං වෙලා තියෙන්නෙ.මාව අතාරින්න ලෝබ හිතුනලු.ඒකලු නොකිවුවේ"

"අනේ උගේ මගුල.එතකොට උඹ දැනගත්තෙ කොහොමද?"

"එයා හුස්ම ගන්න විදිහෙ වෙනසක් වුනත් මට හොඳට තේරෙනවා බං.
මේ...මං කතාකරේ ඒකට නෙවෙයි.
මචං මට උදව්වක් කරපන්"

"කියපන්"

"මට සිතුම්ව බලන්න ඕනෙ බං.එක පාරක්"

එතනින් එහාට පවිත්‍රා ඒ කිවුවේ කුනුහරුපද කියලවත් මට තේරුණේ නෑ.ඌ බනින්නෙ මටද සිතුම්ටද කියලාවත් මං දන්නෙ නෑ.කොහොමහරි පවිත්‍රා කැමති වුනේ නෑ සිතුම්ව බලන්න යන්න. සවනි එන්නෙත් නෑ.ඒක හොඳටම ශුවර්.

සිතුම්ව දකින්න මං දවස් ගානක් පෙරුම් පිරුවා.පාරක යද්දි එද්දිවත් ඒ ඇස් දෙක හම්බුනේ නෑ.

ආදරෙයි කිවුවම ඇත්තටමද අහන
ඇත්තමයි කිවුවම කොච්චරද අහන
මෙච්චරයි කිවුවම ඒ ඇයි අහන ගෑණු අපි ඇත්තටම මෝඩයි අයිසින් කරපු වචන වලින් ආදරේ හොයන!

ඒ දැන දැනත් ඒ මෝඩකම් අතාරින්න මට හිතහදාගන්න අමාරුයි..

හැම ගෑණියෙක්ගෙම හිතේ ඉන්නවා කියනවනේ අනුන්ගෙ පිරිමියෙක්.ඒක වෙන්න ඇති මගේ හිතත් මාලිමාවෙ කටුව උතුරට හැරෙනවා වගේ කැරකිලා කැරකිලා එයා ගාවම නතරවෙන්නෙ.

"හෙට සිතුම් ගානෙ අපේ උන්ට පාටියක් දෙනවා.උඹට ඌව බලන්න ඕනෙ නම් වරෙන් මාත් එක්ක"

නොහිතපු වෙලාවක ඒ මැසෙජ් එක ආවෙ පවිත්‍රාගෙන්.

"අනේ බං එයා මාව දකින්න ඕනෙ නෑ.මට එයාගෙ මූණ පොඩ්ඩක් බලාගන්න තිබුණොත් ඇති"

ඒ මැසේජ් එක ඩිලිවර් වෙද්දිම පවිත්‍රාගෙන් කෝල් එකක්.

"උඹට මේ උගේ මූණයි අරකයි මේකයි පෙන්න පෙන්න ඉන්න වෙලාවක් නෑ.මං උගේ පාටියට යන්නෙත් නෑ.උඹ මැරෙන්න හදන නිසා කිවුවේ.හෙට 11ට ඩයිනමෝර් එක ගාවට ගියොත් බලාගන්න පුළුවන් වෙයි."

දවසක් ගෙවෙන්න දවස් දෙක තුනක වෙලාවක් යනවා කියලා තේරුණේ එදා තමයි.

මැරෙන්න කලින් එක වතාවක් ඒ මූණ බලාගන්න තිබුණනම් කියලා හිත හිත හිටපු මට අද ඒ දේ හැබෑ කරගන්න පුළුවන් වෙලා.

"දෙයියනේ සුදු වෙලා.බෝල ගෙඩියක් වගේ"

මට එහෙම කියවුනේ පවිත්‍රාගේ කේන්තිය අවුස්සන ගමන්.

"අනේ මේ....කටවහගෙන රසවිඳපන් මගෙන් මුකුත් අහගන්නෙ නැතිව"

"අනේ බං.....එයා දාගෙන ඉන්නෙ මං එයාට බර්ත්ඩේ එකට දීපු බ්‍රේස්ලට් එක බං.එයා මාව අතෑරලා නෑ බං"

සතුට දරාගන්න බැරිකමට ඇස් වලට කඳුළුත් උනන්න ගත්තා.ඇතුළෙන් හාට් එක ගිටාර් ගහනවා වගේ දැනුනා.හිනාවක් එළියට එන්න දඟලනවා.මං පවිත්‍රාගෙ අත තද කරලා අල්ලගත්තේ ඒ සතුට ඒ තරමට දරාගන්න බැරි වුණ නිසා.

"යකෝ ඌ අතෑරලා නැත්තෙ බ්‍රේස්ලට් එක.උඹව නෙවෙයි"

"ඒත් බං මාව අතෑරියා නම් මං දීපු දේවල් ළඟ තියාගන්නෙ නෑනෙ.කවදාහරි අපි එකතුවෙයි බන්.මට එහෙම හිතෙනවා"

"ඔව් උගේ දෙවනි කසාදෙ උඹ වෙන්න බැරි නෑ තමයි"

පවිත්‍රාගෙ ඇනුම් පද වැඩිය ගනන් ගන්න ගියේ නෑ මං.එයා ඒ කේන්තියට කියන දේවල්.ඒත් සිතුම්ව දැක්කට පස්සෙ හිතේ වළදාපු මතක සේරම එකින් එක එළියට එන්න ගත්තා.

දෙතුන් පාරක්ම අතට අරගෙනත් පැත්තකින් තියපු ෆෝන් එක මං ආයෙම අතට ගත්තෙ ලොකු හුස්මක් ඉහළට ගන්න ගමන්.

"හෙලෝ බිමාෂා"

දෙවියනේ එයා ගාව තාම මගේ නම්බර් එක තියෙනවා.පපුව ගැහෙන වේගේ පිටතටත් ඇහෙනවද මන්දා.

"හෙලෝ සිතුම්...බිසී ද?"

"චුට්ටක් විතර බිසී.කමක් නෑ කියන්න."

"එහෙමද? කමක් නෑ.මං මේ නිකන් ගත්තෙ ඉතින්.හෙට දවස මතකද අහන්න" 

ඒක කියද්දි මගේ කටහඬ ටිකක් හුරතල් වුනා වැඩියිද මන්දා.මං ලැජ්ජාවට කොට්ටෙන් මූණත් වහගත්තා

"අයිම් සොරි බිමී.මට ඔයාට ඉන්වයිට් කරන්න පුළුවන් කමක් නෑ.ඔයාටත් එන්න හිත හදාගන්න බැරි වෙයි කියලයි මං නොකිව්වේ."

"ආහ්?"

අගක් මුලක් මැදක් නොතේරෙන මේ හරුපේ මොකක්ද කියලා හිතන්න හදනකොටම සිතුම් හරි ලස්සනට මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නා.

"මං ඔයාට එන්නමයි කියලා කියන්නෙ නෑ.පුළුවන් නම් ඉතින් එන්න.පෝරුවේ චාරිත්‍ර 10.20ට."

"වාව්. ඒකනම් මාර සප්‍රයිස් එක.තැන්ක්‍යූ.ඒ ගිෆ්ට් එක නම් කවදාවත් අමතක වෙන එකක් නෑ."

වෙවුලන කටහඬ හැඬුම්බර වෙන්න නොදී මං ගොඩාක් සාමාන්‍ය විදිහට කතාකරන්න උත්සාහකළා.

"මොන ගිෆ්ට් එකද?"

"හෙට මගේ බර්ත්ඩේ එක සිතුම්"

කඳුළු ඉස්සර වෙන්න කලින් මං නිහඬ වුණා.

*********************************************


සීත හිම මත වතාවක්
ලියවුණා පෙම් කතාවක්
අරුත සඟවා ඔහේ ලියැවුණු
අකීකරු පෙම් කතාවක්

නින්ද නැති මැදියම පුරා
හැඬූවත් දෙතැනට වෙලා
නොදැන සිටියා නොවෙයි එනබව
දිනක් ඔබ මා වෙන්වනා

අතීතය මා ළඟ තියා
හිතේ තරහක් නෑ කියා
#ළඟින්_ළඟ_එන_වසන්තය_වෙත
#යන්න_හිම_කවුළුව_වසා

දුරින් හිඳ නුඹහට පතන්නම්
තෙරුවණේ සරණයි කියා😔



෴කතාකරන අකුරු෴





Comments

Popular posts from this blog

සිහිනය සිහිනයක්ම නොවන්නට💖

මාගෙ ආදරෙ හිමිකාරී💖

වරද කාගෙද💖