වරද කාගෙද💖

ජනෙල් කූරු අතරින් පැනනැඟෙන රන් පැහැ හිරු රශ්මිය මා දෙස ඔච්චමට බලමින් මේ අඳුරු කුටිය ඕනෑකමින්ම පසු කර ගොස් කෙළවරේ බිත්තිය මත පතිත විය.

උදෑසනක් යනු අලුත් ආරම්භයක් වුවද එය මගේ ජීවිතයට එසේමැයි නිශ්චිතව කිව නොහැක.

මට නැවත එහි යාමට අවශ්‍ය නැත.නමුත් උරුම තැන හැරදමා කොහි කියා යන්නද?

උණ බට දෙකකින් සාදා නිමකළ කඩුල්ලේ එක් උණ බටයක් පමණක් ඉතිරිව ඇත.

ගහ කොලින් වැසී ගිය ඉඩමේ කොළ රොඩු මිදුලම වසා ගෙන ඇත.මිනිස් පුළුටක් නොපෙනෙන ගඩොලින් නිම කළ කුඩා නිවස පාරට දිස්වූයේ පාලු හොල්මන් ගුහාවක් ලෙසටය.විසිපස් වසරක ඇවෑමෙන් මේ ගොඩනැගිල්ලට මෙසේ ඇතුල්වන ප්‍රථම පුද්ගලයා මා විය යුතුය.

අගුලු දමා නැති ඉදිරිපස දොර තවමත් තද වී ඇත්තේ වැස්සෙන් පීඩා විඳි නිසා විය හැක.වහලයට දමා ඇති ටකරම ඉදිරිපසින් පැලී යාම නිසා ඉදිරිපස දොරෙත් ඒ බිත්තියෙත් තෙත් බැහැපු පෙනුමක් දිස්වන්නට විය.

දිගු කාලයක් වසා තිබීම නිසාම ඇතුළතින් ආ හුමාලය අතීත මතක සියල්ලන් පාරවන්නට සමත් වූ අතර එම අතීතයත් මේ හුමාලය තරම්ම අප්‍රසන්න නිසාම සියලු ජනෙල් දොරවල් හැරදමන්නට මම වේගයෙන් ඇතුළට වැදුනෙමි.

කාමරයේ දොර තවමත් බාගෙට හැරදැමූ ගමන්‍.ය.එදින රාත්‍රියේ මා පොරවාගෙන සිටි චීත්ත කැබැල්ල තවමත් ගුලි වී ඇඳ මතය. ඇඳෙන් බසිද්දීම බිමට වැටුණු සුමනසිරිගේ කොට්ටය තවමත් ඇඳ කකුළ ළඟය.

-------------------------------------------
එදින රාත්‍රියේ මහා මූසල හඬකින් බල්ලන් උඩු බුරන්නට වූයේ මා ඇහැරවන්නටමදැයි මම තවමත් කල්පනා කරමි.නින්දත් නොනින්දත් අතර කරකැවුණු ඇස් බෝල නිරායාසයෙන් නතර වූයේ දොර ලෑලි අතරින් දිස් වූ සියුම් ආලෝකයකටයි.

මා සමඟම නින්දට පැමිණි සුමනසිරි ඒ වන විට එහි නොසිටීමත් නිසාම කොට්ටය යට වූ පිහියද රැගෙන මම ආලෝකය දෙසට අඩිය ඉක්මන් කළා මතකය.
-------------------------------------------

වහලය මත සිටි හූනෙක් "චක්" ගා මේසය උඩට වැටීමෙන් ඒ අතීතාවර්ජනය දිගු සුසුමක් දිගේ දියවී ගියේය.
බිම වැටී තිබූ කොට්ටය පුරා මකුණු දැල්ය. ඒ සියල්ල ඇඳ මත තිබූ චීත්තයෙන්ම පිසදා ඇඳ රෙද්ද සකස් කොට මම එතැනින් පිට වූයේ දොර වසාදමාය.

එතැනින් පියවර කිහිපයක් ඉදිරියෙන් වූ කාමරයේ ලෑලි දොර වසා දමා ඇත.දොර හෙමින් පසුපසට තල්ලු කරමින්
මම වටපිට බැලුවේ සුමනසිරිගේ ආත්මය මෙහි හොල්මන් කරනවාදැයි ඇති සැකයටමය.
ලෑලි දොර චිරිස් බිරිස් ගා ඉදිරියට ඇදුණේ හදවතම සූරා දමමිනි.

කාමරය පිරිසිඳු කොට ඇති නමුත් තවමත් එයින් පිලුටු ලේ ගඳක් වහනය වෙන්නාක් මෙන් දැණිනි.මගේ හිස බඹන්නට විය.හැඳ සිටි චීත්තයෙන් නහය වසා ගත් මා කාමරය තුළට එබුණේ බිම සුදු හුණු කූරකින් රවුම් කොට සටහන් කර ඇති ස්ථාන තුනක් දැකීමෙනි.

එකක් නම් මා අත වූ කිනිස්ස විසි කළ ස්ථානය විය යුතුය.අනික් ඒවා මොනවාදැයි නිශ්චිත නැත.

එදින සුමනසිරි යටිගිරියෙන් කෑගැසූ හැටි කන් පෙති පුරා තවමත් දෝංකාර දී ඇහෙයි.

-------------------------------------------
බාගෙට වසා තිබූ කුසුමාගේ කාමරයේ දොරෙන් දිස් වූ කුප්පි ලාම්පු එළිය දිගේ මගේ දෑස් නිලංකාර වී මනස විකෘති වන්නට ගතවූයේ නිමේෂයකි.

"කුසුමා අපි නැති වෙලාවට මේ ගෙදෙට්ට මිනිස්සු වද්දගන්නවැයි කියලා මට කීපදෙනෙක්ම කිවුවා.අද හවස කඩේට යද්දි ලොකු ඉස්කෝලේ නෝනත් කිවුවා අවවාද කරලා හදාගන්ටැයි කියලා"

මා එසේ පැවසූ දිනෙක සුමනසිරිගෙන් අතුල් පහරකට වඩා ප්‍රතිචාරයක් නොලැබුණු නිසාම මම තවදුරටත් කුසුමාගෙ කල්කිරියාව පිළිබඳ සුමනේ සමඟ කතාවට නොගිහින් ඉන්නට තීරණය කරේ තමන්ගේ නැගණිය පිළිබඳ සහෝදරයාට නැති කැක්කුමක් නෑනා වශයෙන් මට තිබිය යුතු නැතැයි මා සිත තරයේ කියා සිටි නිසාය.

නමුත් එදින රාත්‍රියේ ඒ සිදු වන්නේ කුමක්ද සිදු කළයුත්තේ කුමක්දැයි හරිහැටි තේරුමක් නොමැති හෙයින් මම අඩිය ඉක්මන් කලේ එහි රැඳී සිටීම අපුල වූ නිසාවෙන්ම වූ නමුත් ගෙයි ඉදිරිපස දොරට හේත්තු කර තිබූ අලවංගුව සියලු දේ උඩු යටිකුරු කරන්නට සමත් විය.

සියලු ශක්තීන් දෑතට රැගෙන කුසුමාගේ සිරුර මත වැතිරී සිටි සුමනසිරිගේ පිටට අතහැර දැමූ අලවංගුව ඔහුගේ බඩ පසාරු කරගෙන ගොස් කුසුමාගෙ ඇගේ ඇමිණී තිබුණි.

බල්ලෙක් පූසෙක්ට ගලකින් දමා ගසන්නටවත් මානසික ශක්තියක් නොමැති මම එය කෙසේ කලාදැයි මට වැටහීමක් නැත.නමුත් සිත කෙතරම් කම්පනයෙන් සිටියාදැයි කිවහොත් ඇමිණී තිබූ අලවංගුව නැවත ඇදගැනීමට නොහැකි වූ කළ ඉනේ සඟවාගෙන සිටි කිණිස්සෙන් ඔවුන්ට කොටන්නට වූයේ සහෝදර ප්‍රේමයේ අවසන් කෙඳිරිලි හඬත් නෑසි යන තෙක්‍ ය.

-------------------------------------------
සියලු මතකයන් ඒ තුළම සඟවා දමා මම දොර වසා දැමුවෙමි.සුමනසිරිගේ හම්පඩ සරම තවමත් දෙහි ගහේ පටලා ඇත.අව්වට කර වෙවී වැස්සට තෙමි තෙමී තිබූ නිසාවෙන්ම එහි කලු තිත් වැනි පුස් හටගෙන ඇත.

වෙනදා නම් කොලු කුරුට්ටන් සුමනේ මාමා කියමින් අත වනමින් මෙතනින් යයි එයි.අද ගේ පසුකර යන එකෙක්වත් මෙදෙසට දෑස් යොමුකරන්නට උනන්දුවන හැඩක්ද නැත.

සුමනෙත් මාත් අතර පරතරය අවුරුදු 12කි.එවකට පාසලේ මුරකරු වූ සුමනෙ අයියා මා සමඟ හිතවත් වන්නට යෙදුණේ පාසලේ උත්සවයක් අවසානයේ අස්පස් කරන කටයුත්තට උදව් කරන්නට පැමිණීමෙන්ය.

මගෙ දෙමව්පියන්ගේ තර්ජන ගර්ජන පසෙකලා සුමනසිරි සමඟ විවාහවන විට මට යන්තම් 17 ලැබුවා පමණි.
10 ශ්‍රේණියේ සිට පෙන්වූ ආලවන්තකම විවාහයෙන් කෙළවර වී නැති මංගස්තාන වී නැත්තටම නැති වී ගොස් හමාරය.

සුමනසිරි නමින් ගැහුණු අලුත් හදවත තුන් මසක් ඇතුළත නිහඬ කරවූයේ මා සිත තුළ වූ අධික කම්පනය නිසා යැයි බන්ධනාගාර රෝහල් වෛද්‍යාවරයෙකු පැවසුවා මතකය.

නමුත් එම නූපන් දරුවා පිළිබඳව වත්, සුමනසිරි පිළිබඳව වත් අදටත් මේ දෑසට කඳුළක් උනන්නේ නැත.
ඔවුන් සියලු කර්මයන් ගෙවා දමා සසර කෙළවර කරගෙන අවසානය.

නමුත් මම මේ පව්කාර සංසාරයේ තවදුරටත් මැරි මැරි ජීවත් විය යුතුය.
වරද කාගේ වුවද දඬුවම මම මෙසේ තනියෙන් විඳිය යුතුව ඇත.


෴කතාකරන අකුරු෴





Comments

Popular posts from this blog

සිහිනය සිහිනයක්ම නොවන්නට💖

මාගෙ ආදරෙ හිමිකාරී💖