සිහිනය සිහිනයක්ම නොවන්නට💖




"ඔයා තමයි ගත්තෙ"
"ඔවු මාත් දැක්කා"
"නෑ මං ගත්තෙ නෑ"
"බොරු කියන්නෙපා.ඉන්න ටීචට කියන්නම්"
"මං ගත්තෙ නෑ"
"නෑ ඔයා තමයි ඉල්ලගත්තෙ"

පන්තිය එකම කාලගෝට්ටියක්! රණ්ඩුව එළියටම ඇහෙනවා.

"මොකද මේ සද්දේ ආහ්???"

මං ටිකක් සැරෙන් ඇහුවෙ පුන්ච්කමට කටවල් වල ස්ද්දෙ නම් අඩුවක් නැතිනිසාමයි.

"ටීච මෙයා....හොරකම්...ටීච....කිත්මි....බෑග් එකේ.....හොරකම් කරලා.....කටර් එක.....ටීච සුහන්සගෙ....හොරකම් කරලා....අපි දැක්කා ටීච....කිත්මි"

හැමෝම එකට කෑගහනවා.

"හැමෝම ගිහින් ඉන්න තැන්වලින් වාඩිවෙන්න.බොරුවට කෑගහන්නෙ නැතුව. ගන්න පිල්ලම් හුරුව පොත. ඊගාව පිටු දෙක කරන්න සද්ද නැතුව.
ෂෙහානි මෙහෙ එන්න"

මං කතාකරේ කිත්මිගෙ ඉස්සරහම වාඩිවෙලා ඉන්න ළමයට.

"ටීච ඒක සුහන්සාගෙ කටර් එක.කිත්මි පැන්සල උල් කරන්න ඉල්ලගත්තා.ආයෙ දුන්නෙ නෑ. මං දැක්කා එයා ඒක බෑග් එකේ දාගන්නවා.ඒත් එයා කියනවා ගත්තේ නෑ කියලා."

"එයා හැමදාම එහෙමයි ටීච"

"මගෙත් මකනයක් හොරකම් කරා"

"මගේ කටර් එකක් හොරකම් කරා"

"ටීච එයා මගේ තුඩ මාරුකරන පැන්සලක් හොරකම් කරා"

ආයෙත් පන්තියම කෑගහනවා. කිත්මිට විරුද්දව බරපතල චෝදනාවක්!

පුන්චිකමට කටවල් හද හද කේළම් කියන හැටි දැක්කම හිනාත් යනවා.

"හරි හරි.මං ඒක බලාගන්නම්.ඔයාලා කියපු වැඩේ කරන්න"

පන්ඩිත ආච්චිලාගෙ කටවල් වැහුනෙ ඊට පස්සෙ.



"සුහන්සා මෙහෙ එන්න.
කිත්මි ඔයාගෙන් කටර් එක අරගෙන ආපහු දුන්නෙ නැත්ද?"

"නෑ ටීච"


"ඔයාගෙ පැන්සල් පෙට්ටියේ නෑ කියලා ෂුවර් ද?"

"ඔව් ටීච"

"කිත්මි....පුතේ ඔයාගෙ පැන්සල් පෙට්ටියේ බලන්න වැරදිලා කටර් එකක් ඇවිත් තියෙද කියලා"

"නෑ ටීච මං ගත්තේ නෑ"

"හරි පුතේ ඔයා ගත්තේ නෑ. වැරදිලා ඇවිත්ද බලන්න.අනිත් අයත් බලන්න තමන් ළඟ වෙන කාගෙ හරි කටර් එකක් වැරදිලා ඇවිත් තියෙද කියලා"

"නෑ ටීච"

"කිත්මි ඔයාගෙ බෑග් එකට වැට්ලද කියලා බලන්න එහෙනම්"

"නෑ ටීච"

"හොඳට බැලුවද? කෝ ගේන්න බලන්න"

හැම පොකට් එකක්ම පීරලා බැලුවත් කටර් එකක් තිබුණෙ නෑ. බෑග් එක ආයෙම දෙන්න යද්දි පිටිපස්සෙ පැත්තෙ තිබුණු හොර පොකට් එකකට ඇහැ ගියේ ඉබේටම. ඒ පොකට් එක ඇර්ලා බලද්දි මාව මොහොතකට ගල් වුණා.
විශ්වාස කරන්නෙ කොහොමද? කඩේකට දාලා විකුණන්න පුලුවන් තරම් මකන කටර් ගොඩක් ඒ පොකට් එක ඇතුළේ.
සුහන්සා කියපු විදියේ රෝස පාට සපත්තුවක් වගේ කටර් එකත් ඒ අතරේ තිබුණා.
මුකුත් කියන්න මගේ කටට වචන ආවෙ නෑ.
මේ පුන්චි වයසට මේ තරම් වංචාවක්?????

"ඇයි පුතේ ඔයා මේවා හොරකම් කරේ?"
වචන ගැටගහගෙන අහන්න පුලුවන් වුනේ ඒ ප්‍රශ්නෙ විතරක් වුණු නිසා අහලා දැම්මා.

කෙල්ල සද්ද නෑ.

"ඔයා ගාව ලස්සන පැන්සලක් තිබුණා නේද? අරන් එන්න බලන්න ඒක.

ඕක කාගෙද?"
"මගේ"


"කවුද අරන් දුන්නෙ?"
"තාත්තා කොළඹ ගිහින් එද්දි ගෙනත් දුන්නේ"

"ඕක මට දෙනවද?"
"බෑ"

"හරි එහෙනම් ඕක තියලා 1B ක්ලාස් එකට දුවලා ගිහින් බලන්න ඩාන්සින්ග් ටීච ඉන්නවද කියලා"

ඒ ගිහින් ආපු පුන්චි කෙල්ල ආයෙම මං ගාවට ආවෙ පැමිණිල්ලක් අරගෙන.
"ටීච සුහන්සා මගේ පැන්සල හොරකම් කරලා"

"මං ගත්තේ නෑ ටීච තමා ඒක අරන් ගියේ.අර ටීචගෙ පොත ඇතුළේ තියෙන්නෙ"
කටකාර සුහන්සා මාව පාවලා දුන්නා😂

මේසෙටවත් උස නැති කිත්මි එබි එබි බලන්නෙ පොත ඇතුළෙ තියෙන පැන්සල දිහා.

"ඒක මගේ"

මං ටිකක් දැඩිවම කිවුවා.

"නෑ ඒක මගේ.අනේ ටීච ඒක දෙන්නකෝ.ආච්චි මට බනියි"

"ඇයි ආච්චි බනින්නෙ?"

"පැන්සල නැතිකරගෙන ආවා කියලා"

ඒ ඇස්වල කඳුළු

"ඇයි එහෙනම් කිත්මි අනුන්ගෙ දේවල් හොරෙන් ගන්නෙ??? එයාලගෙ ගෙදර අයත් එයාලට බනිනවනේ මකන කටර් නැතිකරගෙන එනවා කියලා.නේද?
මේ පැන්සලට ඔයා ආසයි වගේම එයාලත් එයාලගෙ දේවල්වලට ආසයිනේ.ආයෙ එහෙම කරන්නෙපා.ඔයාට කටර් එකක් ඕනෙ නම් තාත්තට කියන්න අරන් දෙන්න කියලා"

"තාත්තා ගෙදර නෑනෙ.ආච්චි ඉන්නෙ.එයා අරන් දෙන්නෙ නෑ"

"ඇයි ඒ?"

"සල්ලි නෑ කියනවා"

ඒ වචන හදවත පසාරු කරගෙන යනවා වගේ දැනුනා.

"කිත්මිගේ පැන්සල් පෙට්ටිය අරගෙන එන්න"

ලා රෝස පාට පසුබිමක තද රතු පාට මල් තියෙන රෙදි කෑලි මූට්ටු කරලා මහපු ලස්සන පර්ස් එකක්.වූල් වලින් හදපු කී ටැග් එකකුත් සිප් එකේ එල්ලලා. මං හරි පරිස්සමට ඒ පර්ස් එක ඇරලා බැලුවා.

මුලින්ම ඇහැ ගියේ සුදු පාට ඇට්ලස් මකනෙට.
ඒ පුන්චි ඇගිල්ලෙනුත් බාගයක් විතර ඇති මකනෙ.මකලම ගෙවිලා ගිහින්.
උල් කරලම කොට වුනු රතු පාට නටරාජ් පැන්සලට අමතරව ඒ පර්ස් එකේ තිබුණේ ඇට්ලස් අඩිකෝදුවක් වගේම තව පාට පැන්සල් තුන හතරක් විතරමයි.

මගේ ඇස් පන්තිය පුරාම දිව්වා.
නානාප්‍රකාර විච්චූරන සහිත පැන්සල් මකන කටර් බොතල් ගම් බෝතල් ඩෙස්ක් එක පුරාම විසුරුවාගෙන වැඩ කරන දරුවන් ඉදිරියේ කිත්මිගෙ හැඟීම ගැන මට අවන්කවම දුක හිතුනා.

"ටීචගේ ඉරේසරේ ලස්සනයි"

හෙලෝ කිටී මකන කෑල්ල දිහා බලාගෙන පොඩ්ඩා කිව්වේ කෑදරකමෙන්.

"ඔයා මේක ගන්න. ආයේ හොරකම් කරන්නෙපා හොඳඳ?"

"හා ටීච"

දඬුවම් කළ යුත්තේ ඒ දරුවාටද, ඒ දෙමාපියන්ටද, නැත්තම් මේ පවතින සමාජ ක්‍රමයටද කියලා හරියටම තේරුම්ගන්න බැරිවුන නිසාම
මං කිත්මිගෙ ඔලුව අතගාලා

 අදට සමාවදුන්නා;මගේම හෘදසාක්ශියට.

ඇති නැති පරතරයෙන් තවත් පරම්පරාවකට දුක් විඳින්න සලස්වපු වැඩිහිටි අපි හැමෝම වෙනුවෙන්ම!


෴කතාකරන අකුරු෴

Comments

Popular posts from this blog

මාගෙ ආදරෙ හිමිකාරී💖

වරද කාගෙද💖