ලොකූ (01)

(01)

"පොඩි අක්කා එන්නකෝ"

"ඇයි මොකෝ?"

"තාත්තා බූන්දි ගෙනල්ලා"

"ඉතින්?මං ඕනෙද?මගේ කටින් නෙවේනෙ කන්නෙ"

"ලොකූ දෙන්නෙ නෑ.ඔයාවත් එක්කගෙන එන්නලු"

"හා යමුකෝ"

චූටිවත් ඉස්සරකරගෙන කුස්සියට රිංගුවමයි දැක්කෙ ලොකූ තේ හදනවා.රතු පාටට දිලිසි දිලිසි තියෙන බූන්දි බෑග් එක දැක්කම කටට කෙළ ඉනුවේ මං බූන්දි කන්න පෙරේත නිසා නෙවෙයි.ඒත් දැක්කම කන්න ආස හිතුණා.මං වැඩිය පැණිරස කන්න කැමති නෑ.ලොකූයි චූටියි තමයි ඒවට පෙරේත.

"ආ......මෙන්න තාත්තා ගෙනල්ලා"

මාව දැක්කම ලොකූ තඩි බූන්දි මල්ල මගේ දිහාට දික් කරා.

"කාටද?"

ලොකූගෙන් පිටවෙන හැම වචනෙකටම අසීමාන්තිකව කේන්ති යන එක මට පුරුද්දට ගිහින් වගේ.

"ඔයාලට තමයි"

මූණ ටිකක් ඇල කරලා ඇස් චූටි කරලා හරිම ආදරණීය හිනාවක් පාලා ලොකූ ඒක කිවුවේ.
ලොකූ හරිම ලස්සනයි.මට හිතුණේ එච්චරයි.ඒත් එක්කම හිතට දැනුනේ කියාගන්න බැරි විදිහෙ කේන්තියක්.

"අපිට ගෙනාවනම් ඔයාට දුන්නෙ ඇයි? අපිටම දෙන්න තිබුණනේ"

මං කිවුවෙ නෝක්කාඩුවෙන්.

"තාත්තා පිළිකන්න පැත්තෙන් ගෙට ආවෙ.පොඩ්ඩිලාට දෙන්න කියලමයි මෙතනින් තියලා ඇඟ සෝදගන්න ගියේ"

ඒ ටික ඇහුණේ ලාවට වගේ.මොකද ලොකූ ඒ ටික කියද්දිත් මං එතනින් ඇවිත් ඉවරයි.

ඒත් ටිකකින් ආයෙම ලොකූ මගේ කාමරේට ආවෙ කිරි එකයි අත පුරවලා බූන්දියි අරගෙන.
ඒ මූණේ හිනාව පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.මූණ හඳක් වගේ.කහ පාටයි.ඒ මූණ දකිද්දි මට එන්නෙ පුදුම විදිහෙ තරහක්.ඊටත් වඩා එයා මට චූටිටත් වඩා ආදරෙන් සලකන එකට මං කැමති නෑ.

කිරි එක මේසේ උඩින් තියලා ලොකූ මගෙ ඇඳෙන් වාඩිවුනේ බූන්දි ටික මගේ දිහාට දික් කරන ගමන්.

"මුරුක්කුත් තියෙනවා.ඒවා රෑට බත් කන ගමන් කමු?"

මගේ ඔලුව අතගාන ගමන් ලොකූ කිවුවේ හරියට මගේ කැමැත්ත තේරුම්ගත්තා වගේ.

"අනේ බොරුවට රඟපාන්න එපා ලොකූ"

ලොකූගේ අතට ගහලා මං කාමරෙන් එළියට ආවෙ ඇඳ ළඟ බිම විසිරිලා ගියපු බූන්දි දෙක තුනකුත් පාගගෙනමයි.

කවුරුවත් මට ආදරේ නෑ.බොරුවට ආදරෙයි වගේ පෙන්නනවා.මං කලුයි.කැතයි.ඒත් ලොකුයි චූටියි දෙන්නම ලස්සනයි.සුදුයි.ඒ දෙන්නා එක වගේ.ගෙයින් එළියට බැස්සොත් මගදි හම්බෙන අය මාත් අම්මලාගෙම දුවෙක්ද කියලා අහන්නෙ ඒ වෙනස නිසා කියලා මං දන්නවා.මොකද අපේ අම්මත් සුදුයි.ලස්සනයි.තාත්තා කලු වුනාට මං වගේ නෑ.

පවුලෙන් මගේම විතරයි කොන්ඩෙ ක්‍රේල්.ඒක හරියට කර කරපු නූඩ්ල්ස් එකක් වගේ.අප්පිරියයි.ඔයාලා හිතයි කලු වුනත් ලස්සන අය ඉන්නවා ක්‍රේල් කොන්ඩ ලස්සනයි කියලා.ඒත් එහෙම නෑ.මේ හමේ පාටයි කොණ්ඩෙයි ට්කක් ඉස්සරහට ආපු දත් සෙට් එකයි මට දුන්නෙ හරිම විරූපි පෙනුමක්.

පවුලේ අය මට විශේෂ සැලකිල්ලක් දෙන්නෙ මට ආදරේ නිසා නෙවෙයි.මං ගැන අනුකම්පා කරලා.ඒක මං දන්නවා.මට කේන්තියි.මට අනුකම්පාවක් ඕනෙ නෑ.මට ඉරිසියයි.හැමෝම හොඳ කියන්නෙ ලොකූගෙ.

ලොකුත් ඉතින් එයා හොඳයි කියලා පෙන්නන්න අනිත් අය ඉස්සරහ රඟපානවා.මට තේරෙන කාලෙ ඉඳලම ලොකූ ගැන තිබුණෙ තරහක්.

ඉස්කෝලෙදිත් ගොඩක් අය කිවුවා මාව අරන් හදාගෙනලු.ඒකලු මං පවුලේ කවුරුවත් වගේ නැත්තෙ.තවත් සමහරු කියනවා අම්මා මාව නැතිකරන්න බෙහෙත් බීලලු.ඒකලු මට මෙහෙම විරූපි පෙනුමක් ඇවිත් තියෙන්නෙ.

පොඩි කාලෙ අඬ අඬ ඒ දේවල් කියද්දි ලොකූ මගෙ හිත හැදුවෙ පවුලෙ දෙවනියා කොහොමත් වෙනස් කියලා.

ඒත් දැන් යමක් කමක් තේරෙන නිසාම මට හිතෙනවා මිනිස්සු ඒ කියපු කතා ඇත්තද කියලත්.
මොකද ලොකුයි මමයි අතරෙ වයස් පරතරය අවුරුද්දකටත් අඩුයි.ලොකූ ජනවාරි මාසෙක ඉපදුණු නිසා මට වඩා ඉහළ පංතියක හිටියේ.
ලොකූත් පොඩි නිසාම මාව නැතිකරන්න හැදුවා වෙන්නත් පුලුවන්.

ඉතින් පොඩිකාලෙ හිතට ආපු තරහව දැනුම් තේරුම් තියෙන කාලෙ වෙද්දි වෛරයකට පෙරලුණා.

ෆොටෝ ඇල්බම් එක වහලා මං හැරුණේ කන්ණාඩිය පැත්තට.අවුරුදු එකහමාරට ලොකු වෙනසක් වෙලා.ලොකූ පළවෙනි පඩියෙන් ගෙනත් දුන්නෙ අයන් එකක්.ඒත් ඒකෙන් මේ ජරා කොණ්ඩෙ ලස්සන කරගන්න බැරි වුනු නිසාම කොණ්ඩෙ රීබෝන් කරගන්නත් සල්ලි දුන්නෙ ලොකූ.
එයාටත් ලැජ්ජ හිතෙනවා ඇති මං නංගි කියලා ලෝකෙට පෙන්නන්න.
මං ඒ දේවල් වැඩිය හිතුවේ නෑ.මොකද මොන විදියකට හරි මට හමේ පාට ටිකක් අඩු කරගෙන පෙනුමට ඉන්න අවස්ථාවක් ලැබුනෙ ලොකූ නිසා.

දැන් දැන් මගේ දිහාත් කොල්ලෙක් දෙන්නෙක් බලනවා කියලා මට තේරෙනවා.ඒ නිසාම මගේ හිතෙන් ලොකූ ගැන තියෙන තරහ ටිකක් අඩු වෙලා ගිහින් තිබුණේ.ඉතින් මම ජොබ් එකක් හොයාගත්තෙ හැමදාම ලොකූට සෙකන්ඩ් වෙන්න බැරි නිසා.

සෙමි ගවර්න්මන්ට් කම්පණි එකක් නිසා මට ලොකූට වඩා හොඳ පඩියක් ලැබුණා.ඇනුවල් ට්‍රිප්ස් බැංකොක් තායිලන්ඩ් ටුවර්ස් මට අලුත් දේවල් වුනේ නෑ.

මෙච්චර කාලයක් ලොකූ ගැන කතා වුන හැමෝම දැන් කතාවෙන්නෙ මං ගැන.

"පොඩ්ඩිට සරුයි"

අම්මත් කිවුවේ එහෙම.ඒත් වටේ පිටේ මිනිස්සුනම් මගේ දියුණුව ගැන කතාවුනේ හරහටමයි.එක සැරේටම මොඩ් වුනු මං දිහා උන් බැලුවෙ පළවෙනි පඩිය ලැබෙද්දිම පැනලා යයි වගේ හැඟීමකින්.ඒ නිසාම ලොකූ පිළිවෙලක් වෙනකම් මගේ ඉරණම්කාරයා ගැන කාටවත්ම මුකුත් නොකියා ඉන්න මං තීරණය කරා.

ඔය අතරෙ දවසක මංගල කිංකිණි දැන්වීමක් නිසා ලොකූව බලන්න ආපු මනමාලයට ගෙදර හැමෝගෙම කැමැත්ත ලැබුනේ මං හීනෙකින්වත් නොහිතපු විදිහට.

හරිම ලස්සනට ලොකුවට වෙඩින්ග් එක අරගෙන ලොකූ ගෙදරින් ගිය දවසෙ මං ඇඬුවේ මං ගැනම දුක හිතිලා.ලොකූ ගැන මගේ හිතේ තිබුණ ඉරිසියාව තරහව වෛරය ආයෙම අලුත් වෙන්න පටන්ගතෙ එදා.


෴කතාකරන අකුරු෴




Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔