සුවඳ දැනුනා ජීවිතේ💖

"අම්මේ".........

ඒ ශාලාව පුරාම පැතිරුනේ ඒ හඬම විතරමයි.
දැල් වලින් එල්ලිලා අපි දිහා බලාගෙන ඉන්න පොඩි එවුන් දැක්කම මතක් වුනේ කුකුළු පැටව් අරගෙන යන ලොරියක්.
ඒ වගේ සද්දයක්.ඒ වගේම දර්ශනයක්.

කකුල ළඟ ඇවිත් නතරවුනු හුළං පුරවපු බෝලයක් මගේ ගමන තත්පර කිහිපයකට නතර කරා.

ඒ පුංචි බෝලේ මගේ ළඟට ආවද නැත්තම් මගේ ළඟට විසි කරාද කියන එක මට හිතෙන්න ගත්තේ උලුවස්සට එහා ඉඳගෙන හොරෙන් එබි එබි මට එන්න කියලා අතෙන් සංඥා කරන පුංචි කෙලිපැටික්කි දැක්කමයි.

මං ඒ බෝලේත් අරගෙන ළඟට ගියා.ලස්සනයිම කියන්න බැරි වුනත් හරිම හුරු බුහුටි කහ පාටට හුරු පුංචි ගවුමේ වාටිය ළඟට වෙන්න හරි ලස්සනට චූටි ගෑණු ළමයෙක්ගෙ රූපයක් මහලා තියෙනවා.ඒ ළමයාගෙ අතෙත් බෝලයක් තිබුණා.අනිත් අතෙන් එයා තරම්ම උස බෝනික්කෙක් අල්ලගෙන ඉන්නවා.

"ෂා.... බබාගේ ගවුම ලස්සනයිනෙ.මේ බබාත් ඉන්නවා" කියලා මං පෙන්නුවෙ ගවුමේ මහලා තිබුණු ළමයාව.

"නෑ ඒ මං නෙවෙයි"

ගත්කටටම එහෙම කියද්දි මං හිතුවා එයා අතේ බෝනික්කෙක් නැති නිසා එහෙම කියන්න ඇති කියලා.

"මට මෙහෙම කොන්ඩයක් නෑනේ"

එතකොටයි මගේ ඇස් ඒ දිහාට හැරුනේ.ඔව්මයි.කොණ්ඩේ කොටටම කපලා.වටපිට බලද්දියි දැක්කේ සේරම ගෑණු ළමයි වුනත් කාටවත් දිග කොන්ඩ නෑ කියලා.

"ඕවාගෙ උකුණො වැහුවම අපිටමයි නෝනා කරදරේ.ඒ නිසා කොන්ඩ කපනවා හැමෝගෙම"

ඒ නිවාස පාලිකාවගේ පිළිතුර.
ඒකත් ඇත්ත.මේ මිනිස්සු ළමයි කීයක් බලාගන්නද?පව් එක අතකට.
ඒත් ඒ සිතුවිල්ල නැතිවෙලා යන්න ගතවුනේ තත්පර කිහිපයයි.

පුංචි දරුවො දෙන්නෙක් අඬාගෙන මං ඉන්න තැනින් දිව්වා.

"සචී"
මා එක්ක හුරතල් වුනු දරුවාත් එහෙම කියාගෙන දුවන්න වුනු නිසා මමත් එයාලා පස්සෙන්ම ගියා ඒ කාමරයටම.

ඒකත් ටිකක් ව්ශාල ශාලාවක්.ඇඳවල් 25ක් විතර තිබුණා.මැද හරියට වෙන්න තිබුණු ඇඳක පුංචි එවුන් තුන්දෙනාම වාඩිවෙලා අඬනවා.

"ඇයි පැටියෝ?"
අවුරුදු 3ක් විතර ඇති පුංචිම කෙල්ලට.ඔලුව අතගාලා මං අහද්දි ඒ ඇස් මං දිහා බැලුවා.මං ඒ ළඟින් වාඩිවෙලා ඇයි අඬන්නෙ කියලා අහද්දි ඒ දරුවා "අම්මේ" කියලා කඳුළු අතරින් හිනාවෙන්න උත්සාහ කරනවා මං දැක්කා.මගේ හිත කීරි ගැහුනා.

ඒ තරම් මුදු වචන ඒ තරම් සිනිඳු ස්පර්ශයක් ඒ තරම් සෙනෙහසක් ලැබෙන්නෙ අම්මා කෙනෙක්ගෙන් විතරයි කියලා ඒ පුංචි හිතට දැනෙන්න ඇති.

"නංගි ඇඟේ කක්කා කරගන්නවා කියලා තනියම හෝදගන්න කිවුවා"
ඒ පිළිතුර ලැබුනේ එහා පැත්තෙන් අඬ අඬ ඉන්න අවුරුදු 4ක විතර අක්කාගෙන්.
තනියම හෝදගන්න කිවුවම අපහසුතාවෙන් කැරකුනු පුංචි දරුවගේ අත පිටිපස්සට අඹරලා "හෝදගනින්" කිවුවලු.

මං ඒ පුංචි අත හෙමින් අතගෑවා.පුංචි කෙල්ලගෙ ඇඬුම වැඩිකමට තවම ඉකි ගහනවා. සාක්කුවේ තිබුන පෙබල්ස් පැකට් එක මතක් වුනේ ඒ වෙලේ.ඒත් එයාල ඒක ගන්න බය වුනා.

"මිස් අපිට බනියි"

"ඇයි ඒ?"
මං ඇහුවේ පිට මිනිස්සු දෙන දේවල් කන්න එපා කියලවත්ද දන්නෙ නැති නිසා.

"ෆ්‍රිජ් එකේ එ්වා මිස් දෙන්නෙ නෑ.හොරාට කෑවම ගහනවා"

"මේ මං ගෙනාපු එකක්නෙ පැටියෝ.මිස්ගෙ ෆ්‍රිජ් එකේ ඒවා නෙවෙයි"
මං එහෙම කිවුවාමයි ඒ දරුවෝ ඒවා කන්න ගත්තේ.

මට දුකට වඩා දැනුනේ කේන්තියක්.දවල් දානෙට දෙන්න අරගෙන ආපු යෝගට් ටික ෆ්‍රිජ් එකට දැම්මෙ මම නිසා මං දැක්කා ඒකේ පිරිලා තිබුන කෑම. පළතුරු,කිරි,චොක්ලට් තව ඒ ළඟම කෝන්ෆ්ලෙක්ස් වර්ග ප්‍රින්ගල්ස් ටින් ගොඩක් ගොඩ ගහලා තිබුණා.
ඒත් ඒවායින් මේ දරුවන්ට ලැබෙන්නෙ 1/4 ක් වගේ ප්‍රමාණයක්.අනිත් සේරම පාලිකවන් අතරේ බෙදිලා යන බවක් මට තේරුනා.

ඔයාලා වුනත් අනාථ නිවාසෙකට දානයක් දෙනකොට ඒ දරුවන්ට ගෙනියන දේවල් ඒ වෙලාවෙම කන්න දෙන්න.නැතිනම් ඒ දේවල් ඒ දරුවන්ට කවදාවත්ම නොලැබෙන්න ඉඩ තියෙනවා.

විශේෂ අවසරයක් අරගෙන අවුරුදු 3ට වැඩි දරුවෝ 15ක් අරගෙන පන්සල් යන්න අවස්ථාවක් ලබාගත්තේ මේ පුංචි දරුවන්ට මේ වධකාගාරයෙන් පිටත ලෝකයත් තත්පරේකට හරි පෙන්නන්න හිතාගෙන.

සචී....ඒ පුංචි කෙල්ල ආපු වෙලාවෙ ඉඳලම අතේ එල්ලුනු ගමන්මයි.ගිනි අව්වේ කියලා ගානක් නෑ වටපිට බල බල ඇවිදිනවා.එයාලට සතුටුයි.පන්සලේ ගල් පඩිපෙළ අව්වේ සැරටම රත් වෙලා.පුංචි දෝණිව වඩාගත්තේ මගේ රළු දෙපතුල් වලටත් ඒ රස්නෙ දරාගන්න අමාරු නිසාමයි.

"අම්මෙ මං පයින් යන්නම්"

අමාරුවෙන් පඩි නඟින මගේ මූණත් අතගාලා ඒ පුංචි කෙල්ල කියද්දි මට තවත් ආදරේ හිතුණා.

"බබාගෙ කකුල් පිච්චෙයි"

"ඉතිං අම්මගෙත් කකුල් පිච්චෙනවනේ"

හිනාවකට එහා පිළිතුරක් මං ළඟ තිබුණෙ නෑ.

නොසන්සුන් වෙලා වේලිලා තිබුණු මගේ හිතට පොද වැස්සක් වැටුනා වගේ මට දැනුනා බුදුන් දකිද්දි.

ආයෙම යන්න හැරෙද්දි ඒ පුංචි කෙල්ල අහපු දේට සත්තයි මං අතරමං වුනා.

"අම්මේ අපි දැන් ගෙදර යනවද?"

දෙවියනේ මේ දරුවෝ සේරම අරන් හදාගන්නෙ කොහොමද මම?මමත් තාමත් අම්මා මත යැපෙන එකෙක් වෙද්දි?

ගණ දෙවි නුවණ පහළ වුනා එසැනින්ම.

"පුතා අම්මව එක්කගෙන යන්න පුතාගෙම ගෙදරකට."

"හා.මං ලොකූ ගෙයක් හදනවා තට්ටු දෙකක.ඒකෙන් ලොකුම කාමරේ දෙන්නෙ අම්මට.ඒකෙ මං සෙල්ලම් බඩු ගොඩක් දානවා.එතකොට අම්මට සෙල්ලම් කරන්න පුලුවන්."

ඒ ඇස් සතුටින් දිලිසෙනවා.ජීවිතේට නොදැකපු අම්මා කෙනෙක් වෙනුවෙන් ඒ හිතේ තිබුණු ආදරේ දැක්කම ඒ අම්මා ගැන දුක හිතුණා.මේ තරම් ආදරයක් ඒ අම්මට අහිමි වෙලා නේද කියලා.

කී දෙනෙක් බුදුන් ළඟ වැඳ වැටිලා අහිමි වුනු ආදරේ දාලා ගිය පෙම්වතා/පෙම්වතිය ඉල්ලලා ඇතිද?? ඒත් එක දවසක් හරි තමන්ගෙ අම්මා තාත්තා සතුටින් තියන්න කියලා ඉල්ලන්න මතක් වුනේ නෑ නේද?

නැති කාලෙක දුක් වෙලා පසුතැවිලා වැඩක් නෑ.ඉන්න කාලෙදි දුකක් නොදී බලාගන්න. මොනතරන් අඩුපාඩු තිබුණත් එයාලා අපිව මඟ දාලා ගියේ නෑ.පුලුවන් විදියට බලාගත්තා.ඉතිං ඒ ටිකම මදිද?

මතක තියාගන්න එහෙමවත් බලාගන්න ගොඩක් අයට අම්මා තාත්තා නෑ.


උපදින්නටත් පෙර සිටන් මා
කුස දරාගෙන ආදරෙන්
උතුම් කරුණා සිහිළ දුන්නා
ඇගේ කුස තුළ සිටියදිත්
කුසට අහරක් නැතත් ඇයහට
රසින් මගෙ කුස පුරවමින්
මෑණියන් නිති කඳුළු සැලුවේ
මගෙ මුවට සිනහව දෙමින්

නොනිමි සසරේ රුදුරු කතරේ
මා සැරිසරනා හැම භවේ
අඳුරු මං පෙත් විවර කරමින්
පාර කිව මැන හැම දිනේ
දුගුණ ඇත්නම් එහැම දුරලා
සුගුණ මතුකළ මැන මගේ
පියාණන් වී මග කියනු මැන
නිවන් දක්නා තෙක් ලොවේ!


෴කතාකරන අකුරු෴




Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔