දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි💖



ඇය එතරම් ප් ‍රියමනාප නැත.
සමවයසේ අනෙක් දරුවන් හා සසඳන විට ඇය හුරුබුහුටි නැත.දුටු සැනින් ආදරයට පාත් ‍ර වන්නේ නැත. ඇඳුම් අපිළිවෙලය.කිළිටිය.නමුත් ඇය දඟකාරය.ක්
‍රියාශීලීය.

හදිසියේම ඇය මා වෙත දුවගෙන විත් දණගසා වැන්දාය.

"බුදු සරණයි පුතේ"

මම ඇගේ හිස අතගෑවෙමි.
ඇය මොහොතක් නැවතී මා දෙස බලා සිටියාය.

"ඇයි පුතේ?"

"නිකන්"

එසේ පැවසූ ඇය මගේ ඔසරි පොටේ එල්ලී සිට දිව ගියාය.
නැවත ඇය පැමිණියේ වැඩ පොත් දෙකක් හා පැන්සල් පෙට්ටියක් අතැතිවය.

"ආ...හොඳ බබෙක්නෙ"

මම පැවසුවෙමි.
ඇය මා අසලින්ම වාඩි වී ඇගේ #පිල්ලම්_පොත අකුරු කරන්නට විය.

විටෙක ශබ්ද නගා අකුරු කියවන ඇය විටෙක පැන්සල බිම දාගනියි.මම ඇයට එය ඇහිඳ දෙන අතර ඇය නැවතත් පැන්සල බිම දා ගනියි.නිතර නිතර පැන්සල් පෙට්ටිය අරිමින් මකනය ගනියි.

මම මොහොතක් ඈ දෙස බලා සිටියෙමි. ඇස් කොනෙන් මා දෙස බලමින් ඉතා උනන්දුවෙන් ඇය අකුරු ලියයි.
මම නැවතත් මගේ කාර්‍ය්යෙහි නිරත වන්නට විය.
ඇය නැවතත් ශබ්ද කරයි.පැන්සලෙන් මේසයට තට්ටු කරයි.විවිධ ශබ්ද ඇති කරයි.

ඇයට අවශ් ‍ය දේ වැටහුනු බැවින් මම මගේ කාර් ‍ය්ය පසෙක ලා ඇය දෙසට හැරුනෙමි.

#ඉස්_පිල්ල
ක්,ර්,ප්

ඇය නිවැරදිව අකුරු ගලපා ඇත.මම ඇගේ හිස අතගා තරුවක් දුන්නෙමි

"වෙරි ගුඩ්"

ඇය සිනාසෙයි

"හේශානිට අක්කල නංගිලා නැත්ද?"

"නෑ ටීච"

"ගෙදර කවුද ඉන්නෙ?"

"ගෙදර නෙවෙයි මං ඉන්නෙ බෝඩින් එකේ.අක්කිලායි සිස්ටයි එක්ක "

ඇගේ අව් ‍යාජ සිනහව ඒ දීප්තිමත් ඇස් ඇගේ වචනවලට ඉතාමත් පරස්පරය.

"දැන් බබා ඇයි අද හවස් වෙනකම් ඉන්නෙ? කාලාද ඉන්නෙ?"

"අද චෙස් ප් ‍රැක්ටිසස්. බිස්කටි කෑවා"

"බිස්කට් කාලා ඇතිද? උදේට මොනාද කෑවෙ?"

"බතුයි පරිප්පුයි"

"දැන් ප් ‍රැක්ටිස් ඉවරවෙලා ගියපු ගමන් බත් කන්න එහෙනම්"

"බෑ...ඇඳුම් සෝදන්න ඕනේ"

"ඔයා තනියෙන් සෝදනවද යුනිෆෝම් එක?"

"ඔව්"

ඇගේ කිළිටි ඇඳුම් දෙස මම නැවත බැලීමි.

"කොහොමද සෝදන්නේ?"

"ඉස්සෙල්ලම වතුර වලට සෆෙක්සෙල් දාලා ඇඳුම පෙඟෙන්න දානවා.ඊටපස්සෙ නිකන් වතුරෙන් සෝදලා නිල් දානවා.ඊට පස්සෙ වැලට දානවා"

"වීකෙන්ඩ් එකේ ගෙදර යනවද?"

"නෑ...අම්මට වැඩනෙ.මාව එක්කන් යන්න වෙලාවක් නෑ. ක්‍රිස්මස් එකට යන්නෙ"

පුන්චි ඇස් කරකවමින් ඇය සිනාසෙයි.

අවුරුදු 13ක පාසල් කාලයේ මම කෙදිනකවත් මගේ පාසල් නිළ ඇඳුම තනිවම සෝදාගෙන නැත.

අවුරුදු 24ක වැඩිහිටියෙකු වූ මම තවමත් බෝඩිම් කාමරයේ තනිවී "ගෙදර එන්න ඕනේ" කියමින් හඬන අවස්ථා අනන්තය

එවැනි පසුබිමක මව් පිය සෙනෙහස උපරිමයෙන් බලාපොරොත්තුවන තවමත් එක ශ් ‍රේණියේ ඉගෙනුම ලබන ඇය කෙසේ මෙලෙස සිනාසෙනවාද යන්න මට ගැටලුවකි.

සති අන්තයේ ගෙදර යැවීමට ගොඩ ගසා තිබූ බෙඩ් ශීට් ටවල් සහිත බෑගය රැගෙන මම නාන කාමරයට රින්ගුවෙමි.

ඇගේ වචන මගේ සවනත පුරා රැව් දෙන්නට විය.

"ඉස්සෙල්ලම වතුරවලට ස්ෆෙක්සෙල් දාලා ඇඳුම පෙඟෙන්න දානවා"

ඒ සිනිඳු අත් මේ රෙදි එක්ක කොහොම ඔට්ටු වෙනවා ඇතිද දෙවියනේ!
සබන් කුඩු තුළ බෙඩ්ශීට් එක ඔබමින් මම කල්පනා කරන්නට විය.

දෙවියන් ඇයට ජීවිතය හුරුකරනවා විය යුතුය!
(සත් ‍ය සිදුවීමක් ඇසුරෙනි)

෴කතාකරන අකුරු෴

Comments

Popular posts from this blog

සෙනෙහසක උරුමය🌼

හදවත් දෙකක අරගලය💔