හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්💖
ඩෝම් ලීඩර් ගේ ටකර්න් වොයිස් එකට ගැස්සී ඇහැරෙන අපි නේවාසිකාගාරයෙන් පිටතට ගැනීමට නම් හොස් ටල් මේට්‍රන් මිස් ගේ ශබ්ද පූජාව පැවැත්විය යුතුමය.
උදෑසන 7.45 වන විට දේශන ශාලාවට වාර්තා කල යුතු නමුත් අපි නේවාසිකාගාරයෙන් පිටවන්නේද 8 පසුවී විනාඩි කිහිපයකුත් ගිය පසුය.
ආමාශය මනෝ විකාර කරමින් නැගෙන කැන්ටිමේ පුසුඹට හිත ඒ දෙසට ඇදුනද ආමාශගත සියලු නිදන් රෝග සුව වන්නේ ඒ තුළ ප්ලේන්ටියක් බොමින් වඩයක් සපන K.M සර් දුටුවිට නොවේ.....කැන්ටිමට ඉදිරියෙන් පෙනෙන පීඨාධිපති කාර් යාලය දුටු විටයි. තත්පරයට මීටර් සියයේ වේගයෙන් දිවයන අපේ වේගය බාල වන්නේ දේශන ශාලාව ඉදිරිපිට සිටින උපපීඨාධිපතිතුමාගේ දර්ශනයෙනි.
"කීයටද ලෙක්චර්ස් පටන්ගන්නේ?"
"8ට සර්"
"දැන් වෙලාව කීයද?"
"8යි සර්"
ඔහු ඇසුවේ වැරදි පැනයක්ද අපි දුන්නේ වැරදි පිළිතුරක්ද යන්න රහසකි.
ඒ සියලු බැනුම් වර්ශා දියකර හරින්නට සමත් වන්නේ ඈතින් දිස්වෙන EOE සර් ගේ ආදරණීය සිනහවෙනි.
ඒ ඇසිල්ලෙන් එතනින් පැනගන්නා අපි හොරගල් අහුලන්නේ දේශන ශාලාවට රිංගාගැනීමටය.
"අද උදෙන්ම literature"
ඩේ ලීඩර්ගේ හඬ පරදවමින් දෙසවන් පුරා පැතිරෙන්නේ මැඩම්ගේ සුමිහිරි වදන් පෙළයි.
"පරක්කුවෙලා මගේ ලෙක්චර්ස් වලට එන්නෙපා"
"දැන් මොකද කරන්නේ?හොස්පිට්ල් යමුද?"
පේරාදෙණිය ජාතික මහ රෝහල,ඓතිහාසික ගැටඹේ පුද බිම සුවහසක් අපේම උන්ගේ හිතසුව පිණිස අප හා සිටි උතුම් ස්ථාන දෙකක් විය.ඒ හා අප අතර පවතින්නේ ආත්මගත බැඳීමකි.
එළියට යාමට උප පීඨාධිපතිවරුන්ගෙන් අවසර ගැනීම තරම් අපුල දෙයක් නැත.
එනිසාම අපි දේශන ශාලාව පසුපසින් ගොස් අවසානම අසුන් වෙත සුපුරුදු පරිදි බඩගාන්නෙමු.
ඉදින් ඒ සිහින දකින්නට කාලයයි.ඉඳහිටක අනෙක් අසුනේ සිටින එකාගේ ගෙරවිලි හඬට ගැස්සී ඇහැරෙන මම ඔහුට තඩිබා නැවත නිදමි.
"ගොරවන්නෙපා @$#%&"
11.30 වනවිට අප සිත් නළියන්නේ දවල් ආහාරය උදෙසාම නොවේ.හවස දේශන සඳහා සහභාගී වනවාද නැතිද යන හිත දවා අලු කරන ගැටලුව නිසාවෙනි.
සියලු තර්ක විතර්ක අතර අපි තීරණයක් ගන්නෙමු.
#අද_කට්_කරමු !
නේවාසිකාගාරවල නිදන අපි වෙනුවෙන් දේශන ශාලාවේ අත්සන් කොළ වල අත්සන් වැදෙන අයුරු පුදුමය.
අවශ් ය මොහොතට නැති #බැඡ්_ෆිට් මොකටද!
කෑම කන තැන සිට නා පිරිසිඳු වීම වැසිකිළි යෑම දක්වාම තම අවස්ථාව එළඹෙන තුරු පෝළිමේ සිටීමට අපි පුරුදුකාරයින් වී සිටිමු.
"මං දෙවනියට"
"ඔයාට පස්සේ මම"
මේ පුරුදු හේතුවෙන් නිවසේදීද තවකෙක් ගොස් පැමිණෙනතුරු බාල්දි බේසම් ඔසවාගෙන නානකාමරයේ දොර මුරකරන අවස්ථාද නැතිවම නොවේ.
නේවාසිකාගාරයේ අපේම උන් වෙනුවෙන් එකම කාමරයක තේ සෑදෙන හැටි අපූරුය..
එකම කාමරයක පුංචි ඇඳක 10ක් 12ක් ගුළි වී පාන්දර 1,2 වෙනතුරු සැලෝලයිට් තිරයක අතරමං වී පසුදින දේශන ශාලාවේ නිදියන අයුරු අපූරුය...
මුලු නේවාසිකාගාරයම අපායක් කරමින් අදාල කාමරයේ දොර බලි රූ වලින් වර්චස් කරන යක්කු ගස් නගින ඒ පාන්දර 12 කණිසමට නටන නාඩගම
අපේ #මිඩ්_නයිට්_බත්ඩේ_සර්ප් රයිස් එක හොස්ටල් මේට්‍රන් මිස්ගේ උච්ච ස්වර ගායනයෙන් අවසන්වන වන හැටිද අපූරුය..
උදෑසන ශරීර සුවතා අතරතුර ව්‍යායාම කරමින්ම නේවාසිකාගාර වලට පනින හැටි අපූරුය...
බොරු වසංගත රෝග පතුරුවමින් අරගල කරමින් නිවාඩු සඳහා අපේ අයිතිය රැකගත් හැටි අපූරුය...
එකෙක් නිසා සැවොම සිනාසුනු එකෙක් වෙනුවෙන් සැවොම හැඬූ ඒ බැඳීම අපූරුය...
මව්පියන් නොමැති ලෝකයක අතරමං වූවන් ලෙස සැරිසැරූ අපිට අපේම උන් කියන්නට පිරිසක් ලැබුණු හැටි අපූරුය...
ඉන්නකන් එපා වුණු ගියාට පසු දුක් වුණු ඒ මතක සිහි කිරීමෙන්ද සිත නිවෙන හැටි අපූරුය.
ඉදින් අපි සිනාසෙමු ඒ මතක හිතදරා..
බුදුහාමුදුරුවනේ.....නිවන් දකින්නට වරම් ඕනෑ නැහැ.මේ කන්නලව්ව පමණක් අසා වදාරන සේක්වා.....!
#අපේ_හොස්ටල්_එකේ
#රත්තරං_කාමරේ
#නවතින්න_තව_දිනක්
#ලැබුණොතින්_ඒ_ඇතේ ...
෴කතාකරන අකුරු෴

Comments